අධ්‍යාපනික දර්ශනය

අධ්‍යාපනික දර්ශනය යනු ශාස්ත්‍රාලයක් ලෙස අපගේ අරමුණු, ගුරුවරුන් ලෙස අපගේ භූමිකා සහ ශිෂ්‍යයාගේ භූමිකාව පිළිබඳ අපගේ අරමුණු සහ විශ්වාසයන් දැක්වෙන විස්තරයකි.

අපගේ අධ්‍යාපනය සාකල්‍ය වනු ඇත. අපගේ දේවධර්ම අධ්‍යාපනයේ පරමාර්ථය වන්නේ දේවභක්තික හා ධාර්මික චරිතයක් ඇති, ජීවිතයේ සහ සේවයේ මුහුණ දෙන කාරණා පිළිබඳ බයිබලයට අනුකූලව කල්පනා කළ හැකි, උද්‍යෝගයකින් හා නිපුණත්වයකින් යුතුව සේවය කළ හැකි, බයිබලය නිර්මාණාත්මකව ජීවිතයට අදාළ කර ගත හැකි, සභාවේ හා සමාජයේ අභිවෘද්ධිට කැප වූ පුද්ගලයන් බිහිකිරීමය.

අපි ශුද්ධ ලියවිල්ලේ පරම අධිකාරිත්වය විශ්වාස කරන හෙයින් සියලූ ශාස්ත්‍රීය ශික්ෂණ සහ ප්‍රජා ජීවිතය බයිබලීය ඉගැන්වීම් මගින් ශක්තිමත් කර, අප ශිෂ්‍යයන්ට යේසුස් වහන්සේගේ ආඥා සියල්ල පිළිපදින ලෙස නිර්දේශ කරන්නෙමු (මතෙව් 28:18-20).

ඉගෙනීම බහුමානීය වන බැවින් අපි ශාස්ත්‍රීය දැනුම, සේවා නිපුණත්වය සහ චරිත පරිණතභාවය යන අංශ සියල්ල තුළම විශිෂ්ටවීම අපි ආසංකලනය කරන්නෙමු. මේ සඳහා ශිෂ්‍යයාගේ චින්තනය (මනස), ආකල්ප හා හරයන් (හදවත) සහ නියැළීම (දෑත්) ඇතුළත් වන ලෙස විෂයමාලාව සැලසුම් කර ඇත්තේ ය.

ශාස්ත්‍රාලයේ බහු නිකායික ස්වභාවයෙන් පිළිබිඹු වන විවිධත්වය සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනාවක් ලෙස ලැඛෙන සභාවන්හි එකමුතුකම අපි අගයමු. කථිකාචාර්යවරු කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ ඇදහිලි ප්‍රකාශනයට අනුසන් කරන අතර එහි නියෝජනය වන එක් එක් සභා අවධාරණය කරන නමස්කාර විධි සහ ධර්මනියාමයන්ට ගරු කළ යුතු වෙමු. කිතුනුවන් අතර විවිධ මත පවතින විෂයයන් පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කිරීමේදී කථීකාචාර්යවරු සංවේදී ලෙස කටයුතු කළ යුතුය.

පංති කාමරය සිසුන් සහ ආචාර්ය මණ්ඩලය අතර අන්‍යෝන්‍ය ගෞරවය දක්වන සුරක්ෂිත පරිසරයක් විය යුතුය. සිසුන් පළ කරන අදහස් හා අසන ප්‍රශ්න නිසි අවධානයෙන් යුතුව සලකනු ලැබේ. කථීකාචාර්යවරුන් ශිෂ්‍යයන්ගේ ස්ත්‍රි පුරුෂභාවය, ජාතිය, නිකාය ආදිය නොබලා සාධාරණව අපක්ෂපාතීව කටයුතු කරනු ඇත. ශාස්ත්‍රාලය සිසුන්ගේ ඇගැයුම් පත්‍ර බාරගනිමින් ඒවායින් නගන කාරණා පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත. සිසුන්ගේ ප්‍රතිචාර හේතුවෙන් ඔවුන්ට අයහපත් ප්‍රතිවිපාකයක ඇති වේ යැයි කිසිදු බියක් නොවිය යුතුය.

අපගේ කථීකාචාර්යවරු ඉගැන්වීමට නිපුණත්වය ඇති, පාඩමට හොඳින් සූදානම් වන, සිය විෂය සම්බන්ධයෙන් උද්යෝගීමත්ව හා එහි කාලීන සන්දර්භය පිළිබඳ මනා අවබෝධයකින් යුතු වන අයවළුන් විය යුතුය. ඔවුන් බැඳීසිටින පරිදි, සිසුන්ට ප්‍රයෝජනවත් ප්‍රතිචාරද කලට වේලාවට ලකුණුද සැපයිය යුතුය. ඔවුන්ගේ ඉගැන්වීමට ස්තුති දැක්වීමක් ලෙස සිසුන්ගෙන් කිසිදු ත්‍යාගයක් හෝ වෙනත් දීමනාවක් අපේක්ෂා නොකළ යුතුය; එවැනි දේ පිළිගත නොයුතුය.

අපගේ අධ්‍යාපනය ශිෂ්‍ය කේන්ද්‍රීය වන්නේය. බොහෝ පලපුරුදු හා පෙර දැනුම රැගෙන පංති කාමරයට පිවිසෙන වැඩිහිටි සිසුන් ඔවුන්ගේම අධ්‍යාපනයට කොටස්කරුවන් වන බැවින් ඔවුන් උදාසීන ග්‍රාහකයන් නොවන්නේය. ඔවුන්ට සලසන අධ්‍යපනය ඔවුන්ගේ අත්දැකීම් උපයෝගී කරගනිමින් සිය ජීවිතයට සහ සේවයට අදාළ කරනු ඇත. පංති පවත්වනුයේ ගුරුවරුන් උගන්වන පිණිස නොව සිසුන් ඉගෙනගන්නා පිණිස ය. කථීකාචාර්යවරයා සිසුන්ගේ ප්‍රශ්න ඇසීමට හා සංවාදයේ යෙදීමට විවෘත විය යුතු අතර විවිධ ශික්ෂණ ක්‍රම උපයෝගී කරගනිමින් ඉගැන්විය යුතුය.

අපගේ දේවධර්ම අධ්‍යාපනය දූතන කේන්ද්‍රීය වේ. ශිෂ්‍යයන්ගේ පෞද්ගලික කැඳවීම් ආභාසයෙන් සභාවේද, වෘත්තීය ලෝකයේද අන්තර් සංස්කෘතික දූතන ක්ෂෙත්‍රයද ඉටු කරන විවිධ සේවා දෙවියන් වහන්සේගේ දූතන මෙහෙවර තුළ ලුහුබැඳීමට ශිෂ්‍යයන්ට අභියෝග කරනු ඇත. දේවධර්ම අධ්‍යාපනය මගින් දූතන මෙහෙවරට ශිෂ්‍යයන්ගේ උද්යෝගය වර්ධනය කරන, ස්ථීර කරන, මඟපෙන්වන්නා මිස කිසිදු අයුරකින්වත් එය හීන කරනු නොලබයි.

අපගේ දේවධර්ම අධ්‍යාපනය කල්පනාකාරී වන්නේ ය. එනම්, වර්තමාන අවශ්‍යතා හා සන්දර්භ තුළට හරවත විලසින් කථා කරන පිණිස මිදුම්කාරී දේව වචනය හා මිදුම්ලාභී ලෝකය යන ද්විත්වය කෙරෙහි සාවධානය පවත්වා ගෙන යාමට අපගේ දේවධර්ම අධ්‍යාපනය නිරතුරු ඇගයුමට හා සංශෝධනයන්ට භාජනය කරන්නෙමු.

අපගේ දේවධර්මීය නිර්මාණය සිදු කරනු ලබන්නේ හුදෙකලා වූ තනි පුද්ගලයන් ලෙස නොව සාමුහික අධ්‍යයනයෙහි නියැළෙන්නාවූ ශික්ෂණ ප්‍රජාවක් ලෙසිනි. දේවධර්මීය නිර්මාණය කිරීමට නිපුණත්වයෙන් හා විශ්වාසවන්තභාවයෙන් යුත් ශිල්පීන් ශිල්පිනියන් ලෙස වර්ධනය වන්නට අපි එකිනෙකා පෝෂණය කරමින් අභියෝග කරමින් අනුබල දෙන්නෙමු.

අපගේ ගුරු මණ්ඩලය ජීවිත කාලය පුරාම ඉගෙනගන්නවුන් වන අතර අපගේ ශිෂ්‍යයන්ද එලෙසම වන ලෙස අපි ඔවුන් දිරිගන්වන්නෙමුු. අපගේ ආදි ශිෂ්‍යයන්ට සිය දැනුම නැවුම් කර ගැනීමටත් ගැඹුරු කර ගැනීමටත් අවස්ථා සපයා දෙන්නෙමු.

අපගේ ශිෂ්‍යයන් යේසුස් වහන්සේ සමඟ පෞද්ගලික හා වර්ධනය වන සම්බන්ධතාවක් ඇති පුරුෂයන් හා කාන්තාවන් විය යුතුය. ස්ථීර සාමාජිකත්වයක් පවත්වාගෙන යන ප්‍රාදේශික සභාවක විශ්වාසවන්ත ශ්‍රාවකත්වයටත්, නායකත්වයේ හා අනුගාමිකත්වයේ වගකීම් ඉටු කිරීමේ දී සේවකත්වයටද නමක් දිනූ පුද්ගලයන් විය යුතුය. ඔව්හු සභාවට ඇති ප්‍රේමයෙන්ද ශුද්ධත්වයට ඇති කැපවීමෙන්ද සිය දීමනා, සම්පත් හා සබඳතා කෙරෙහි දක්වන භාරකාරත්වයෙන්ද ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පූර්ණව සිටිනා බවට සාක්ෂි දරන්නෝ ය.