අපගේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව!

එදා මෙදා තුර උන් වහන්සේගේ අනුගාමිකයින්ගේ මුවඅග රැඳී තිබුණු, යේසුස් වහන්සේ තම ගෝලයන්ට ඉගැන්වූ යාච්ඤාව, සුන්දර, සරල මෙන්ම අතිශයින් ගැඹුරු යාච්ඤාවකි. එය කුඩා දරුවෙකුට වුවත් කට පාඩම් කළ හැකි, සැම වචනයක්ම තේරුමක් ඇතුව භාවිත කළ හැකි යාච්ඤාවකි. ඒ අතරම අප තවම මෙම අද්විතීය යාච්ඤාවේ ගැඹුර සම්පූර්ණයෙන් උකහාගෙන නැතැයි, ස්වාමින් වහන්සේගේ යාච්ඤාව අධ්‍යයනය කළ විශාරදයින්ට ඒත්තු ගොස් ඇත.
ස්වාමින් වහන්සේගේ යාච්ඤාව පහසුවෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. පළමු කොටස දෙවියන් වහන්සේගේ වැදගත් ගුණාංග මුල් කරගෙන, උන් වහන්සේ කවුරුන්ද යන්න කෙරෙහි අවධානය යොමු කරයි: උන් වහන්සේගේ පීතෘත්වය, උන් වහන්සේගේ ශුද්ධකම සහ උන් වහන්සේගේ සර්වබලධාරිත්වය (මතෙව් 6:9-10). දෙවැනි කොටසින්, යේසුස් වහන්සේගේ අනුගාමිකයින්, දෙවියන් වහන්සේ කෙරෙහි වැඩියෙන්ම යැපෙන දේවල් කෙරෙහි අවධානය යොමු කරයි: දිව්‍ය සැපයීම, දිව්‍ය සමාව සහ දිව්‍ය ආරක්ෂාව (මතෙව් 6:11-13). මේ කොටස් දෙක යේසුස් වහන්සේ අපූරු ලෙස ගළපා ඇත. අපගේ දෛනික අවශ්‍යතා උන් වහන්සේ විසින් සපයනු ඇතැයි අප බලාපොරොත්තු වන්නේ දෙවියන් වහන්සේ අපගේ පියාණන් වන බැවිනි. අප පාපය පිළිබඳව උන් වහන්සේට ගණන් දිය යුතු අතර උන් වහන්සේගේ සමාව ඉල්ලා සිටිය යුත්තේ, උන් වහන්සේ ශුද්ධ බැවිනි. අපටම දමනය කළ නොහැකි පෙළඹවීම් වලින් අපව ආරක්ෂා කරගෙන, නපුරාගෙන් අපව මුදා ගනු ඇතැයි අප බලාපොරොත්තු වන්නේ උන් වහන්සේ සර්වබලධාරී නිසාවෙනි.
“අපගේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව” යන ඉල්ලීමෙන් යාච්ඤාවේ ඇති බහු අදාළත්වයන් පෙන්වා දෙයි: පළමුව, අපගේ ඉල්ලීම් කෙලින්ම උන් වහන්සේට ඉදිරිපත් කරන්නට අපට හැකියාව ඇත්තේ, අපගේ පියාණන් ලෙස, දෙවියන් වහන්සේට ළඟාවීමේ හැකියාව අපට ඇති බැවිනි. පොළොවේ පියවරුන්ගේ ස්වභාවික ප්‍රේමණීය ප්‍රතිචාරය තුළින්, ඊට වඩා මොන තරම් කැමැත්තෙන් හා ත්‍යාගශීලීව දෙවියන් වහන්සේ තම දරුවන් වෙනුවෙන් කටයුතු කරනු ඇත්ද යන්න, මතෙව් 7:7-11 හි යේසුස් වහන්සේ පෙන්වා දෙන සේක. යේසුස් වහන්සේ, දෙවියන් වහන්සේට “මාගේ පියාණෙනි” යයි ආමන්ත්‍රණය කිරීම විශේෂත්වයකි. ඒ හරහා, උන් වහන්සේ තුළින්, අපටද දෙවියන් වහන්සේව “අපගේ පියාණන් වහන්සේ” ලෙස අත්දැකීමේ සුවිශේෂි වරප්‍රසාදය හිමිවී ඇත. මේ නිසා, “එබැවින් අපේ අවශ්‍යතාවන්හි දී අපේ සරණ සඳහා දයානුකම්පාව ලබන පිණිස බිය සැක නැති ව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු,” යයි පැවසීමට හෙබ්‍රෙව් හසුනේ කතෘවරයාට හැකිවිය (4:16).
දෙවනුව, එම ඉල්ලීම පටු පුද්ගලවාදී ඉල්ලීමක් නොවීය: යාච්ඤාව සාමුහික පැතිකඩක් දිගටම රඳවා ගනී - “අපගේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව.” පුද්ගල අවශ්‍යතා සහ මනාපයන් වර්ණනා කිරීම, ගෝලීයකරණය වූ අපගේ සංස්කෘතියේ එක් ලක්ෂණයකි. නිෂ්පාදකයින් මෙන්ම සේවා සපයන්නන්ද, ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ මාධ්‍යයක් ලෙස නිතරම ආත්මාර්ථකාමීත්වයට අනුබල දෙති. මේ නිසා, දෙවියන් වහන්සේ මගේ පටු, ආත්මාර්ථකාමී අවශ්‍යතා සපුරාලන සේවා දායකයෙකු ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේකෂා කිරීම පුදුමයට කරුණක් නොවේ. එසේ වුවද, මිනිසා නිතැතින්ම සාමුහික ජීවීන් බැවින්, අපගේ සාමුහික අවශ්‍යතාවයන් ගැන සංවේදීව යාච්ඤා කරන ලෙස යේසුස් වහන්සේ අපට උගන්වන සේක.
තුන්වනුව, අපගේ වර්තමාන අවශ්‍යතාවයන් දෙවියන් වහන්සේ වෙතට ගෙන එන මෙන් උන් වහන්සේ අපව දිරිගන්වන සේක: “අපගේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව.” කිතුනුවන්, “පමණට වඩා ස්වර්ගීය මානසිකත්වයක් ඇතුව සිටීමෙන් පොළොවට අවැඩදායක වී ඇත” යන විවේචනයට ඇතැම්විට ලක් ව ඇත. යේසුස් වහන්සේ අපගේ අනාගත බලාපොරොත්තුව ගැනත්, ස්වර්ගයේ වස්තුව රැස් කිරීම ගැනත් ඉගැන්වුවද, භෞමික යථාර්ථයන් වල පැවතුන සේක. දුප්පතුන්ගේ, පීඩිතයන්ගේ සහ දුර්වලයන්ගේ වර්තමාන අවශ්‍යතාවයන් තම න්‍යාය පත්‍රයේ ඉහළින්ම ඇති බව යේසුස් වහන්සේ තම ප්‍රසිද්ධ සේවා කාලය අතරතුර, පෙන්වා දුන් සේක. ඒ අනුව, එවැනි අවශ්‍යතා දුටු විගස උන් වහන්සේ ඒවාට ප්‍රතිචාර දැක්වූ සේක. අප නමස්කාර කරන්නේ අපගේ වර්තමාන අවශ්‍යතා ගැන ගැඹුරින් සැලකිලිමත් වන දෙවි කෙනෙක්ය යන සිතිවිල්ල අපට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන අතරම, මේ ලෝකය තුළ උන් වහන්සේව අනුකරණය කරමින් ක්‍රියා කිරීමටත් අපව පොළඹවනු ඇත.
හතරවනුව, මේ ඉල්ලුමෙන්, අපගේ නෙත ගැටෙන සෑම දෙයක්ම සපයන මෙන් උන් වහන්සේගෙන් ඉල්ලා සිටීමට නොව, අපගේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය දේ පමණක් ඉල්ලීමට අනුබල දෙයි: “අපගේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව.” යේසුස් වහන්සේගේ කාලයේදී ප්‍රාථමික අවශ්‍යතාවයන් ලෙස සැලකුණේ රොටි සහ වතුර ය. යේසුස් වහන්සේ එය වඩාත් පැහැදිලි කළ සේක: “දවස්පතා භෝජනය,” නැතහොත්, “පැවැත්මට අවශ්‍ය රොටි” ලෙසද එය පරිවර්තනය කළ හැකිය. මේ සඳහා බයිබලයෙන් ගත හැකි සමීපතම ප්‍රකාශනය වන්නේ දෙවියන් වහන්සේ වසර හතළිහක් ඉශ්‍රායෙල්වරුන් කාන්තාරයේ ගමන් කරද්දී, ඔවුන්ට සැපයූ මන්නා ය. එය ඔවුන්ගේ මූලික අවශ්‍යතාවය වු අතර, ඔවුන්ගේ පැවැත්ම සඳහා මුළුමනින්ම ප්‍රමාණවත් විය.
මේ අනුව, ස්වාමින් වහන්සේගේ යාච්ඤාව වර්තමාන සඵලත්වයේ ඉගැන්වීම් වලට සහය නොදක්වයි. ‘භෞමික ධනය සැබෑ ආත්මිකත්වය සහ දෙවියන් වහන්සේ සමඟ සමීපත්වයට සෘජුවම සමානුපාතිකය’යි එහි අත්‍යන්ත ආකෘතිය පෙන්වා දෙයි. ඊට පටහැනිව, මිනිස් කෑදරකම අනුමත නොකරන, අපගේ මූලික භෞතික අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීමට නැඹුරු වන දෙවි කෙනෙක් අපට පෙන්වා දෙයි.
පලස්තීන සමාජයේ යේසුස් වහන්සේ ජීවත් වූ කාලයේදී, අතිශයින් පොහොසත් මනුෂ්‍යයින් සිටියද, බහුතරයක් දුප්පතුන් විය. වර්තමාන සමාජ වලද මෙවැනි අන්ත විෂමතාවයන් දැකිය හැකිය. බිලියන 1.6ක ජනගහණයකින් යුත්, දකුණු ආසියාවේ මිලියන 500ක් පමණ ජීවත් වන්නේ දිනකට ඩොලර් 1ක මුදලකිනි. ඒ අතර, ලෝකයේ මිල අධිකම නිවස පිහිටා තිබෙන්නේ, මුම්බායි නගරයේ උස් ගොඩනැගිල්ලකය. එය ඉදි කිරීමේදී එහි දකුණු ආසියානු හිමිකරුට වැය වී ඇත්තේ ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් බවට ගණන් බලා ඇත!
“අපගේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව” යයි අපි යාච්ඤා කරද්දී, අප ජීවත් වන ලෝකය ගැන දැනුවත් ව සිටීම වැදගත්ය.
අයිවෝ පූබාලන්, PhD