ඇදහිලි ප්‍රකාශය

ශුද්ධ ලියවිල්ලේ පැරණි හා නව ගිවිසුමට අයත් පොත් හැටහය, මුලින් දුන් ලෙස පූර්ණ දේවානුභාවයෙන් පවතින බවත් ඒවායේ සහතික කරන සියල්ල නිරවද්‍ය බවත් අපි විශ්වාස කරමු. අපගේ ඇදහිල්ල හා හැසිරීම පාලනය කරනු පිණිස විශ්වසනීය නිසා, උත්තරීතර හා අද්විතීය අධිකාරිත්වය ලෙස එයට අපි යටත් වන්නෙමු. ශුද්ධ ලියවිලි අවබෝධ කරගෙන අදාළ කරගැනීම සඳහා සභාවට උපකාර කිරීම පිණිස දෙවියන් වහන්සේ සම්ප්‍රදාය, තර්කය, සහ අත්දැකීම් යොදාගන්නා බව අපි පිළිගනිමු.

පියාණන්, පුත්‍රයාණන් හා ශුද්ධාත්මයාණන් වශයෙන් ප්‍රේමයේ සදාතනික සබඳතාවක් තුළ සහසමව වැඩවසන දෘශ්‍ය අදෘශ්‍ය සියලූ දෙයෙහි මැවුම්කරුවාණන් වන ශුද්ධ, සදාතනික, ස්වෛරී, සර්වබලධාරී, එකම දෙවියන් වහන්සේ අදහමු.

ස්වකීය මැවිල්ලේ විස්මිතකමින් තමන් වහන්සේගේ සැපයීමේ ත්‍යාගශිලීත්වයේ ද, තමන් වහන්සේගේ විනිශ්චයේ අධිකාරිත්වයෙන් ද ස්වකීය පීතෘත්වය දැනගන්නට සැලැස්වූ දෙවි පියාණන් වහන්සේ අපි අදහමු. මුලින් ආබ්‍රහම් තෝරා ගැනීම මඟින් උන් වහන්සේ ප්‍රේමයෙන් හා ගිවිසුම් සබඳතාවය තුළින් ඉශ්රායෙල් සෙනඟ තෝරාගත් සේක. එහෙත් දැන්, උන් වහන්සේගේ මාංසවත්වූ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් දෙවිදුන් කෙරෙන් ආගන්තුක ලෙස වෙසෙන සියලූම සෙනඟ අනුග්‍රහයෙන් කැඳවා දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස සදාතනික සබඳතාවයට උන්වහන්සේ කැඳවන සේක.

ශුද්ධාත්මයාණන් කරණකොටගෙන මාංසවත් ව, කන්‍යා මරිය තුමිය තුළින් උපත ලැබ, මනුෂ්‍යයෙකු වූ දෙවිඳුන් වන ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ අපි අදහමු.
දෙවියන් වහන්සේට කීකරු වෙමින් උන් වහන්සේගේ පාපයෙන් තොර ජිවිතය තුළින් දේව රාජ්‍යය ප්‍රකාශ කරමින් උන් වහන්සේ එහි බලය ස්වකීය සේවය සහ ප්‍රාතිහාර්යයන් තුළින් විදහා දක්වා, තමන් වහන්සේගේ ශ්‍රාවකයන් ජීවත් විය යුතු අයුරු ආදර්ශනය කළ සේක.
පූර්ණ ආදේශනික සහ පාපයට වන්දි ගෙවීමේ ශාන්තිකර මරණය තුළින් නින්දා විඳිමින් උන් වහන්සේ මිනිසාගේ පාපයේ වන්දිය ගෙවූ අතර මරණයේ සහ සාතන්ගේ බලය පරාජය කළ සේක.
උන් වහන්සේගේ ශාරීරික පුනරුජ්ජීවනය සහ ස්වර්ගාරෝහණය කරණකොටගෙන උන් වහන්සේ මුළු ඉතිහාසය සහ මුළු මැවිල්ල කෙරෙහි ස්වාමින් ලෙස රජකම් කරමින් සභාව උදෙසා මැදිහත්කම් කරන සේක.
ඉතා ආසන්න උන් වහන්සේගේ පුනරාගමනය මඟින් උන් වහන්සේ දෙවියන් වහන්සේගේ විනිශ්චය ක්‍රියාත්මක කරමින් උන් වහන්සේගේ රාජ්‍යය පරිසමාප්තියට පමුණුවන සේක.

ජීවනය දානය කරන, මැවීම තුළ ක්‍රියාකාරී, දෙවියන් වහන්සේගේ අභිමුඛය විද්‍යමාන කරන, උන් වහන්සේගේ සත්‍යය අනාවරණය කරන සහ උන් වහන්සේගේ පුත්‍රයාණන් ගැන සාක්ෂි දරන්නා වූ ශුද්ධාත්මයාණන් වහන්සේ අපි අදහමු.
උන් වහන්සේ මනුෂ්‍යයන්ට පාපයේ වරද පෙන්වා දෙමින් ශුභාරංචිය පහදා දෙන සේක.
ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන අය නැවත උත්පාදනය කර ඔවුන් තුළ වැඩවාසය කරන අතර බලගන්වමින් විශුද්ධ කරමින්, මගපෙන්වමින්, සභාව එකමුතු කරන සේක.
විවිධ දීමනා ප්‍රදානය කිරීම තුළින් උන් වහන්සේ පොදු යහපත උදෙසා සේවය කිරීමට ඇදහිලිවතුන් සූදානම් කරන සේක.

දෙවියන් වහන්සේ සමඟ සබඳකම් පැවැත්වීමටත් මැවිල්ල තුළ උන් වහන්සේගේ පාලනය නියෝජනය කිරීමටත් මිනිස් වර්ගයා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති බව අපි විශ්වාස කරමු. දෙවියන් වහන්සේට අකීකරුවීම මඟින් පව් කිරීම නිසා මුලින් පැවති දේව ස්වභාවය විකෘති වී, මිනිස් ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසා දෙවියන් වහන්සේගෙන් ඈත් වීමක් මෙන්ම සමාජය හා මැවිල්ල කෙරෙන් ඈත් විමක්ද සිදුවිය. එහෙත් සෑම පුද්ගලයෙකුම දෙවියන් වහන්සේ විසින් දෙන ලද ඔවුන්ගේ ස්වභාවයෙන් ම පිහිටි ගෞරවය සහ වටිනාකම තවදුරටත් එසේ ම පවත්නේය.

පාපිෂ්ඨ මිනිස් වර්ගයා විනාශ වෙමින් සිටින අතර ඔවුන් ගළවාගත හැක්කේ යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පාපයට වන්දි ගෙවීමේ ශාන්තිකර මරණය තුළින් පමණක් බව විශ්වාස කරමු. ගැළවීම යනු ඇදහිලිවන්තයා පව් සමාව ලබා අපරාධයෙන් හා නින්දාවෙන් නිදහස් කර සදාතනයට දෙවියන් වහන්සේ ඉදිරියේ නිදොස් කරන ශුද්ධාත්මයාණන් කරණකොටගෙන උපත ලැබීමේ අත්දැකීමය. දෙවියන් වහන්සේ සමඟ මෙම සමඟිවීම සියලූ ඇදහිලිවතුන් සමඟ සමගිවීම දක්වයි. සාතන්ගේ බලයට නතුවීමේ වහල්කමින් සහ මරණයට ඇති බියෙන් පුද්ගලයෙකු ගැළවීම තුළ නිදහස ලබයි. ගැළවීම දේව අනුග්‍රහයෙන් වන අතර, මනස්ථාපනයෙන් හා ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් එය ලැඛෙන්නේය. ගැළවීම ලත් බව කෘතගුණවේදී ක්‍රියා තුළින් මෙන්ම ප්‍රීතියෙන් ප්‍රකාශ කෙරේ. ක්‍රිස්තුන් වහන්සේගේ ගැළවීමේ ක්‍රියාවට වැටුණාවූ මැවිල්ල ප්‍රතිස්ථාපනය වීමද ඇතුළත් වන්නේය.

ක්‍රිස්තුන් වහන්සේගේ ස්වරූපයට පරිවර්තනය වීමේ ක්‍රියාවලියක් වන ශුද්ධ ජීවිතයක් ගත කරන පිණිස කිතුනුවන් කැඳවා ඇති බව අපි විශ්වාස කරමු. ශුද්ධකම පැමිණෙන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ අනුග්‍රාහි ක්‍රියාවෙන්, දේව වචනය තුළින් සහ ඇදහිලිවන්තයා කිතුනු ප්‍රජාව තුළ දෙවියන් වහන්සේට කීකරුවීමට අයාස දැරීම මඟින්ය.

ක්‍රිස්තුන් වහන්සේ විසින් පිහිටුවනු ලද ශුද්ධාත්මයාණන් විසින් සංස්ථාපනය කරන ලද, ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීම් මත ආරම්භ කරන ලද සභාව අපි විශ්වාස කරමු. සභාව යනු සියලූ ජාතීන්ට, ජනවර්ගයන්ට, සංස්කෘතීන්ට සහ භාෂාවන්ට අයත් සෙනඟගෙන් සමන්විත එකිනෙකා හා සමගි කිරීමෙහි නියුතු මෙන්ම එක්සත්කමෙන් වර්ධනය වෙමින් පවතින යේසුස් වහන්සේගේ ශරීරයයි.

ක්‍රිස්තුන් වහන්සේ මඟින් මැවිල්ල මුදාගෙන උන් වහන්සේගේ පාලනයට ප්‍රතිස්ථාපනය කිරීම සඳහා නොකඩව සිදුවන්නාවූ දෙවියන් වහන්සේගේ කාර්යය වනාහි මෙහෙවර ලෙස අපි විශ්වාස කරමු. මේ සඳහා ශුද්ධාත්මයාණන්ගෙන් බලගන්වනු ලැබු සභාව දේව රාජ්‍ය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරන පිණිසත්, සාධාරණත්වය සහ කරුණාව සඳහා යත්න පිණිසත් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී සුගන්ධය වැනි යහගුණයෙන් පවතින පිණිසත් ලෝකය කෙරෙහි වන්නේ ය.

ක්‍රිස්තුන් වහන්සේගේ පුනරාගමනයේදී දෙවියන් වහන්සේගේ රාජ්‍යය පරිසමාප්තියට පත්වන බව අපි විශ්වාස කරමු. උන් වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය මඟින් නපුර විනාශ කර මනස්ථාපනය නොවූවන් සදාකාලික දඬුවමට පත් කරන්නේය. මුදනු ලැබූවෝ සදාතන ජීවනයට උත්ථාන කොට ඔවුන්ගේ විශ්වාසවන්තකමට ප්‍රතිවිපාක භූක්ති විඳින්නෝය. උන් වහන්සේගේ නව මැවිල්ල තුළ මුදනු ලැබූ මනුෂ්‍යත්වය දෙවියන් වහන්සේ සමඟ මහිමාන්විත සහභාගිකමකින් යුතුව සදහටම ජීවත් වන්නේ ය.